Monday, June 29, 2020

4. සිරි රහල් තෙරිඳු සහ තොටගමු විජයබා පිරිවෙන




තොටගමු විජයබා පිරිවෙන්පති සිරි රහල් හිමියෝ 'සැළලිහිණි සංදේශය' ලියුහ.
එහි පැදි 108 කි.
අවසන් කවියෙන් දූතයාට (සැළලිහිණියාට) සියක් වස් දීර්ඝායු පැතූහ.
රහල් හිමි තමන් ලියු බව පැදියකින් නොදැක් වූහ.
නමුත් තව කවි තුනක් එක් කල පුරාණ සන්නයක සැළලිහිණිය රහල් හිමියන්ගේ කෘතියක් බව සන්නකරු කියා තිබේ.
සංදේශ කාව්ය වල යම් කරුණු සතර පද කවියෙන් නොව  දස පද කවි වලින්ද ලියා ඇත. ඒ කවි දස පද සැහැලි ලෙස නම් කෙරේ.
ගිරා සංදේශයේ 232 වන කව දස පද සැහැල්ලකි.
එයින් ගිරා සංදේශ  කතු වරයා දූතයාට (ගිරවාට) තොටගමු විජයබා පිරිවෙන්පති හිමියන්ට නමස්කාර කරන ලෙස දන්වයි.
එම දස පද සැහැල්ල මගින් සිරි රහල් හිමියන් ගැන හැඳින්වීමක් අපට ලබා දී ඇත.

කඳවුරු ගම් කුල - දලනිදු ලකළ මුදලිඳු

පිවිතුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මුනුබුරු මහරු ගුණසර පිළිවෙත්  ගැඹුරු

කිවිකල මුදුන් මල් - කල තම තෙපුල් හැමකල්

මනරම් මුනි සසුන් වැඩ පිණිස        නිකසළ
පැරකුම් රජු විසින් සුත පෙමිණි    ඇති   කළ

සිරිබර මෙසිරි ලක'ඟණ පැළඳි         පිරිසිදු
පුවතර මහ වෙහෙර වැසි තෙර ගණ  සිනිඳු
මනහර රුවන් වැළ මැද බඳ මිණෙක    බඳු
නමකර පවර විජයබ පිරුවන්          තෙරිඳු



මෙහි සාරය :

' කඳවුරු කුලය නමැති මුහුද අලංකාර කල මහමෙර පව්ව වූ, පිවිතුරු උත්තර මූල මහ තෙරිඳුන්ගේ මුණුබුරු වූ, මහත් වූ ගුණසර, ප්‍රතිපත්තියෙහි  ගම්භීර වූ, තම වචනයෙන් කවි කුලයට මුදුන් මල් කරමින්, මනරම් බුදු සසුනේ පිරිසිදු පැවැත්මට පැරකුම් රජ (සවැනි) විසින් දරු පෙමින් හදා වැඩූ සිරිබර ලංකාගනාව පැළඳ සිටින, පසිඳු මහා විහාර වාසීව වැඩ වෙසෙන ස්ථවිර සමූහය නමැති, සිත් පැහැර ගන්නා මැණික් වැලේ මැද බැඳ ඇති මැණික හා සම වූ උතුම් විජයබා පිරිවෙන්පති තෙරණුවන්ට නමස්කාර කරව'

ගිරා සංදේශයේ 219 සිට 227 දක්වා කවි වලින් තොටගමු විජයබා පිරිවෙනෙහි ශාශ්ත්‍රීය කටයුතු දක්වනු ලැබේ.

අභිධර්ම, විනය, සූත්‍ර පිටක ගැඹුරින් විශ්ලේශණය කළ පැවිදි විද්යාර්ථීන් වූහ. (219 සිට 221 කව්)

වියරණ හදාරන වනපොත් කරන සාමණේර වහන්සේලා වූහ. (222 කව)

වේදය විනිශ්චය කර ධාරණය කළ බමුණු සමූහයක්ද වූහ (223 කව)

තාරකා විද්යාව හදාරන ලදී (224 කව)

වෛද්ය ශාශ්ත්‍රය එහි ඉගැන්වීය. {225 කව)

අර්ථ ශාශ්ත්‍රයද විෂයකි. (226 කව)

පුරාණ කවීන්ගේ අලංකාර, වියරණ, චන්දස් ගැන දන්නා විද්වතුන් සමූහ ගතව සිත් සේ සකු, පාළි, සිංහල,දෙමළ පද්ය හා නාට්ය ප්‍රකාශ කරති. (227 කව)

එනම් අද සරසවියේ මෙන් දේශණ, සාකච්චා, සම්මන්ත්‍රන අභ්යාස, තිබූ බව  අපට අවබෝධ වේ.

ගිරාවේ කව් 252 කි.
එය කව් ගණනින් දෙවැනි වන්නේ කව් 292ක් ඇති ලංකාවේ දෙවුන්දර සිට යාපනයට ගෙන ගිය කෝකිලයට පමණි.

 සංදේශ කාව්‍ය කථිකාවට ඌණ පූර්ණයක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා උන්වහ්න්සේගේ ශ්‍රී දේහය පිළිබඳව යූ ටියුබයේ පලවී ඇති වීඩියෝ කිහිපයක්ද අප ඔබ වෙනුවෙන් එක් කලෙමු.













1 comment: