Monday, June 29, 2020

4. සිරි රහල් තෙරිඳු සහ තොටගමු විජයබා පිරිවෙන




තොටගමු විජයබා පිරිවෙන්පති සිරි රහල් හිමියෝ 'සැළලිහිණි සංදේශය' ලියුහ.
එහි පැදි 108 කි.
අවසන් කවියෙන් දූතයාට (සැළලිහිණියාට) සියක් වස් දීර්ඝායු පැතූහ.
රහල් හිමි තමන් ලියු බව පැදියකින් නොදැක් වූහ.
නමුත් තව කවි තුනක් එක් කල පුරාණ සන්නයක සැළලිහිණිය රහල් හිමියන්ගේ කෘතියක් බව සන්නකරු කියා තිබේ.
සංදේශ කාව්ය වල යම් කරුණු සතර පද කවියෙන් නොව  දස පද කවි වලින්ද ලියා ඇත. ඒ කවි දස පද සැහැලි ලෙස නම් කෙරේ.
ගිරා සංදේශයේ 232 වන කව දස පද සැහැල්ලකි.
එයින් ගිරා සංදේශ  කතු වරයා දූතයාට (ගිරවාට) තොටගමු විජයබා පිරිවෙන්පති හිමියන්ට නමස්කාර කරන ලෙස දන්වයි.
එම දස පද සැහැල්ල මගින් සිරි රහල් හිමියන් ගැන හැඳින්වීමක් අපට ලබා දී ඇත.

කඳවුරු ගම් කුල - දලනිදු ලකළ මුදලිඳු

පිවිතුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මුනුබුරු මහරු ගුණසර පිළිවෙත්  ගැඹුරු

කිවිකල මුදුන් මල් - කල තම තෙපුල් හැමකල්

මනරම් මුනි සසුන් වැඩ පිණිස        නිකසළ
පැරකුම් රජු විසින් සුත පෙමිණි    ඇති   කළ

සිරිබර මෙසිරි ලක'ඟණ පැළඳි         පිරිසිදු
පුවතර මහ වෙහෙර වැසි තෙර ගණ  සිනිඳු
මනහර රුවන් වැළ මැද බඳ මිණෙක    බඳු
නමකර පවර විජයබ පිරුවන්          තෙරිඳු



මෙහි සාරය :

' කඳවුරු කුලය නමැති මුහුද අලංකාර කල මහමෙර පව්ව වූ, පිවිතුරු උත්තර මූල මහ තෙරිඳුන්ගේ මුණුබුරු වූ, මහත් වූ ගුණසර, ප්‍රතිපත්තියෙහි  ගම්භීර වූ, තම වචනයෙන් කවි කුලයට මුදුන් මල් කරමින්, මනරම් බුදු සසුනේ පිරිසිදු පැවැත්මට පැරකුම් රජ (සවැනි) විසින් දරු පෙමින් හදා වැඩූ සිරිබර ලංකාගනාව පැළඳ සිටින, පසිඳු මහා විහාර වාසීව වැඩ වෙසෙන ස්ථවිර සමූහය නමැති, සිත් පැහැර ගන්නා මැණික් වැලේ මැද බැඳ ඇති මැණික හා සම වූ උතුම් විජයබා පිරිවෙන්පති තෙරණුවන්ට නමස්කාර කරව'

ගිරා සංදේශයේ 219 සිට 227 දක්වා කවි වලින් තොටගමු විජයබා පිරිවෙනෙහි ශාශ්ත්‍රීය කටයුතු දක්වනු ලැබේ.

අභිධර්ම, විනය, සූත්‍ර පිටක ගැඹුරින් විශ්ලේශණය කළ පැවිදි විද්යාර්ථීන් වූහ. (219 සිට 221 කව්)

වියරණ හදාරන වනපොත් කරන සාමණේර වහන්සේලා වූහ. (222 කව)

වේදය විනිශ්චය කර ධාරණය කළ බමුණු සමූහයක්ද වූහ (223 කව)

තාරකා විද්යාව හදාරන ලදී (224 කව)

වෛද්ය ශාශ්ත්‍රය එහි ඉගැන්වීය. {225 කව)

අර්ථ ශාශ්ත්‍රයද විෂයකි. (226 කව)

පුරාණ කවීන්ගේ අලංකාර, වියරණ, චන්දස් ගැන දන්නා විද්වතුන් සමූහ ගතව සිත් සේ සකු, පාළි, සිංහල,දෙමළ පද්ය හා නාට්ය ප්‍රකාශ කරති. (227 කව)

එනම් අද සරසවියේ මෙන් දේශණ, සාකච්චා, සම්මන්ත්‍රන අභ්යාස, තිබූ බව  අපට අවබෝධ වේ.

ගිරාවේ කව් 252 කි.
එය කව් ගණනින් දෙවැනි වන්නේ කව් 292ක් ඇති ලංකාවේ දෙවුන්දර සිට යාපනයට ගෙන ගිය කෝකිලයට පමණි.

 සංදේශ කාව්‍ය කථිකාවට ඌණ පූර්ණයක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා උන්වහ්න්සේගේ ශ්‍රී දේහය පිළිබඳව යූ ටියුබයේ පලවී ඇති වීඩියෝ කිහිපයක්ද අප ඔබ වෙනුවෙන් එක් කලෙමු.













Monday, May 25, 2020

3. එදත් මෙදා මෙන් මත් ද්‍රව්ය භාවිතාව?


කෝට්ටේ යුගයේ මත් ද්‍රව්ය භාවිතාව

සංදේශ කාව්ය සහ කෝට්ටේ අතර ඇත්තේ අවියෝජනීය සම්බන්දතාවයකි. 
 කාලිදාසගේ 'මේඝ දුතය' මුල්ම සංදේශ කාව්ය ලෙස සලකේ.
එය සංස්කෘත සාහිත්යේ වටිනාම පොතක් වේ.
එය කෝට්ටේ යුගයේ පඬිවරුනට සමීපව තිබෙන්න ඇති කියා සිතිය හැක.
එකල උගතුන් ලෙස ගෙන ඇත්තේ; එළු, පාලි, සකු, දෙමළ  ආදී භාශා දැනුම් ඇති අයට බව පෙනී යයි. කෝට්ටේ යුගයේ මහා පඬිරුවන වන තොටගමුවේ සිරි රහල් හිමියන් ෂඩ් භාශා පරමෙශ්වර වශයෙන් අදත් සිහිපත් කෙරේ.
කෝට්ටේ යුගයට සංදේශ කාව්ය පහක් ඇතුලත්වේ.
පරෙවි, සැළලිහිණි, කොවුල්, ගිරා සහ හංස එම කෘතීන්ය.
අපගේ යටගියාව එනම් ඉතිහාසය සොයා යාමේදී වංශ කතා, සෙල්ලිපි ආදී දේවල් මෙන්ම සංදේශයන් සහ සාහිත්ය කෘතීන් ද අපමණ ආලෝකයක් සපයන බව විශ්වාස කෙරේ.
කෝට්ටේ සංදේශ කවි පිළිබඳව ඉතා හොඳ ප්‍රවේශයක් ලෙස; සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශණයක් වන; මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන්ගේ ' කෝට්ටේ යුගයේ සන්දේශ කාව්ය' ගෙන හැර දැක්විය හැක.
මෙම සෑම සංදේශ කාව්‍යයකම දූතයෙකු (මේවායේ ප්‍රියජනක පක්ශියෙක් විසින් එය ගෙන ගිය විලාශයක්  දැක්වේ.
 අතරමග මඟ වැනුම් සහ පුර වැනුම් සහ ආගමික ස්ථාන ගැන, ආශීර්වාද, සෙත් පැතීම් ආදිය නො අඩුව ඇත. කෝට්ටේ සාහිත්ය දියුණුවට හේතු වුවූ මූලික කරුණ ලෙ;ස සරසවි බඳු  පිරිවෙන් රාජානුග්‍රහයෙන් පැවතීම ගෙන හැර දැක්විය හැක.
එසේම; එම පිරිවෙන්පති වරුන්ද  අසම සම චරිත බව පෙනී යයි.
වඩාත්ම ප්‍රචලිත වන්නේ තොටගමු විජයබා පිරිවෙන්පති සිරි රහල් හිමියන්ය. 
තොටගමුවේ සිරි රහල් හිමියන් සමුද්‍රාසන්නව තම ශාශ්ත්‍රීය කටයුතු  කළ නිසාදෝ සිය කව් සමුද්‍රඝෝශ  විරිතින් රචනා කළ බව පෙනේ.
 සමුද්‍රඝෝශ  විරිත යනු කවි ගායනයේදී මුහුදු රළ උස් පහත් වීමේ තනුවක් ශෘතියක් දක්නට ලැබීමයි.

අපි අද කෝට්ටේ සංදේශ කාව්යක් මගින් සමාජ විද්යාත්මක තොරතුරක් ගැන කියවා විමසා බලමු. 
එය වර්තමාන තත්වයන් යටතේ විශ්ලේශණාත්මක ඉසව්වකට අප ගෙන යනු ලබයි.
අනාදිමත් කාලයක සිට; අපේ රටේ නීති සංග්‍රහයන් අනුව මත් ද්‍රව්ය (අබිං, කංසා ආදී දේ ) භාවිතය දන්ඩනයට යටත් කරණු ලබන වරදක් වේ.
මෙම නීති සම්පාදනය කරණු ලැබූවේ යටත් විජිත රජයයන් විසින්ය.
නමුත් මේ වන විට; එම ද්‍රව්ය බෙහෙත් වශයෙන් පිළියෙල කොට යම මාත්‍රාවකට අනුව භාවිතාව සමහර රටවල නීති ගත කරලා කොට තිබීම හාස්‍යයට කරුණකි.

පහතින් දැක් වෙන්නේ ගිරා සංදේශයේ 105 වන කවියයි.

මත් වන අබින් කංසා කා රළු                    පරළු
අත් තන කුසුම් රත් මල් කනලා               ලකුළු
ගත් වන  මුගුරු ලෙළවා  ඇද ඇද              රවුළු
සිත් මෙන බමන බබුරන් රඟ බල              යහළු

ගිරා සංදේශ කතු වරයා ගැන සඳහනක් නැතත් එය කෝට්ටේ ජයවර්ධන පුරයේ විහාරයක වැසි පැවිදි උතුමෙකුගේ රචනයක් බව 55 වන කවියෙන් කියවේ. 
ජයවර්ධන පුර   ඇතුළු නුවර දළදා මැදුර රජ මැදුරට යාව තිබෙන බව   (වෙනත් තැන්වල)  කියවේ.
විහාර තිබී ඇත්තේ ලංකාවේ අගනුවර ඇතුළු නුවර  සැලැස්මවලට අනුව පවුරට පිටිනි. 
නමුත් ඇතුළු නුවර තුල සතර දේවාල පිහි‍ටුවා තිබී ඇත. 
සංදේශය යවන්නේ තොටගමු  පිරිවෙන්පති  රහල් හිමියන් වෙතය.
මෙම කව ට අනුව; දූතයා වන ගිරවාට උපදෙස් දෙනු ලබන්නේ; රළු, පරළු වූ අබිං, කංසා කෑ; සිත් වසඟට ගනු පිණිස කනෙහි අත්තන මල්, රත් මල් රඳවා ගෙන පොළු ලෙළවාගෙන, සිත් සේ  වවා ගත් ‍රැවුල් ඇතිව සැරිසරන බබුරන්ගේ රංග ලීලා බලා යන ලෙසය.
ඊට පෙර කවෙහි පැවසෙන්නේ බේරුවලට ඇතුල් වන ලෙසත්ය. 
බේරුවල එකලත් මුස්ලිම්වරු විසි බවත් කියැවේ.
 බේරුවල එකල රුවල් නැව් තොටකි. 
මුස්ලිම් වෙළෙන්දන්ගේ බබුරන් ලෙස එනම් නපුරු සේවකයන් සිටින බවක් මෙම කවියෙන් හැඟවේ.
ඒ අය මත් ද්‍රව්ය ගෙන මත්ව පොලු අරන්  ඇවිද්ද බව බවක්ද වැඩිදුරටත් කාවයයෙන් කියැවේ.
එකල අබිං, කංසා වලින් මත් කොටගත් අප්‍රිකානු වහලුන් තම රුවල් නැව් වල සේවය සඳහා මුස්ලිම් වෙලෙන්දන් විසින් උපයෝගී කරගත් බව මෙයින් අපට සිතා ගත හැක.
සමහරවිට අබිං කංසා වෙළදාමත් කරන්න ඇත.
සංදේශ කවි ඒ පිළිබඳව යටි පෙළින් වාර්තා කෙරේ.
නමුත් දූතයා හට එම මිනිසුන් දෙස බලා යන්නට කියා පවසනවා විනා බිය වීමට හේතුවක් ඇති බවක් නොපැවසේ.
අත්තන මල් ගැන ද කියැවේ.
අත්තන ලංකාවේ වැවෙන විෂ සහිත ඇට්‍රො‍ෆින් අඩංගු  බෙහෙත් ශාඛයකි.
ඒවා අඩංගු මත් බෙහෙත් වර්ග එනම් ලේගියම් වගේ මත් වෙන ද්‍රව්ය එහෙම භාවිතා වැනි දේ භාවිතා කලාදැයි සිතිය හැක.
කංසා ලංකාවේ වවා අරාබි වෙලදුන් පිට රට ගෙන ගියාද?  
එකල ඔවුන් අබිං මෙරට වික්කාදපැණයකි.
ප්‍රධාන පෙරහැරට දේවාල පෙරහැර එකතු වෙලා වී තිබූ බව කියැවේ.
කෝට්ටේ යුගයේත් දේව වන්දනා සිදු වී ඇති අතර; ගිරා සංදේශයෙන් කතුවරයා සිරි රහල් හිමියන් වෙත; රජතුමාට එනම් අවසන් වරට සිරිලක එක්සේසත් කල සවැනි පැරකුම්බා රජතුමාට සෙත් පතා , රට සතුරු උපද්‍රව සහ රෝග වලින් සහ සසුන ‍රැක දෙන ලෙස නාථ දෙවියන්ට සැල කරන ලෙස ඉල්ලීමක් තොටගමු සිරි රහල් හිමියන් විසින් කෙරෙණු ලබයි!  
දූතයා යන මඟ කෝට්ටේ සිට තොටගමුවටය.
 බේරුවල හරහා එම ගමන වැටී ඇත.
නාථ දෙවියන් යනු මහායාන බුදු දහමේ මතු බුදු වන බෝසතුන් ය.
එනම්  එයින් පහැදිලි වන්නේ කෝට්ටේ යුගයේ බෝසත් වන්දනාව හෙවත් මහායාන ඇදහිලි වලට මුල් තැනක් ලැබී ඇති බවයි. 
මහනුවර යුගයට එන විට නාථ දේවාලය දළදා මැදුර අසලම පිහිටා තිබුන බව මහනුවර සිසාරා බලන විට වැටහී යනු ලැබේ.

- ආනන්ද

Saturday, May 9, 2020

2. කෝට්ටේ රාජ්‍යය.





කෝට්ටේ රාජ්‍යය.
තමනට හිතවත් කුමරකුට හෝ කුමරියකට උඩරට අල්ලා භාරදීමට පෘතුගීසීන් තැත් කල යුගය දන්තුරේ සටනින් අවසාන විය.
ඊළඟ යුගයේදී දක්නට ලබෙන්නේ පෘතුගීසි කිරුළට උඩරට කෙලින්ම ඈඳා ගැනීමට දැරූ ප්‍රයත්න කිහිපයකි.
අනියම් පාලනය පිළිබඳ අදහස ඉවත්කර දමා උඩරට පෘතුගීසි විජිතයක තත්වයට ගෙන ඒමට ඔවුන් අදහස් කලේ ඇයි?
දහසයවන සියවසේ අවසාන දශකය තුල පහත රට ප්‍රදේශ තුල වූ වෙනස්කම් කිහිපය මේ කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය යැයිසිතිය හැකියි.
1594 වර්ෂයේ මැද හරිය වන විට සීතාවක හා කෝට්ටේ රාජ්‍යය දෙකම පාලනය වූයේ පෘතුගීසීන් යටතේය.
1597 ධර්මපාලගේ මරණයෙන් කෝට්ටේ රාජ්‍යයේ නීත්‍යානුකූල උරුමය ද ඔවුන්ට පැවරුණි.
මේ නිසා 1590දී කොළඹ කොටුවට හිරවී රාජසිංහගෙන් බැට කමින් කොයි මොහොතේදී  ගෝවේ සිට අධර එත්දයි මුහුද දෙස ඇස් හයා බලා සිටි පෘතුගීසීහු 1598 වන විට ලංකාවේ ඉතා සශ්‍රික ප්‍රදේශයක නීත්‍යානුකූල පාලකයන් බවට පත්වූහ.
පහතරට මෙසේ කෙලින්ම පෘතුගීසි පාලනය යටතේ තිබූ හෙයින් උඩරට පමණක් අනියම් පාලනයක් ඇති කිරීමට තැත් කිරීම අර්ථ විරහිතය.
එයද පෘතුගීසි කිරුළට ඈඳා ගැනීම වඩා තර්කානුකූල විය.

පෘතුගීසීන් හා ලංකාව (1597-1658)
කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය
ටිකිරි බණ්ඩා හේරත් අබයසිංහ

- ශ්‍රී නාත්.

Friday, May 1, 2020

1. දිනෙන් දින දියව යන කොටු බැම්ම
















කාලය ඉගිල යන ඉක්මන.
මා කොට්ටේ පෙදෙස පලමුව දකින්නේ මීට වසර 38 කට පෙරාතුව.
1982 වසරේදී.
එකල පිට කොට්ටේ යනු කුඩා කඩ මණ්ඩියක් විතරයි.
ජේ ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව කොට්ටේට ගෙන එන තෙක් එය ලංකා සිතියමේ  තවත් එක් පුංචි තිතක්ම විතරක් වන්නට තිබුනා.

මා නැවතුනේ මගේ මිත්‍රයෙකුගේ නවාතැනකම වෙනත් කුටියක.
පාසල් වයසේ සිටි අප හට නිවාඩු අඩු පාඩු නැතිව.
ඔහුත් සමග කෝට්ටේ නොගිය තැනක් නැති තරම්.
ඒ කාලේ කොටු බැම්ම කියන්නේ සිත් පැහැර ගත් දසුනක්.

ආයෙත් මම මතක් කරණ්නම්
කාලය ඉගිල යන ඉක්මන.
මාස කිහිපයකට පෙර මට ලබුනා විවේකයක් යලිත් යන්නට අතීතයට.
අද ඒ මතකයට වී ඇති දේ දුටු විට හිතට දැනුනු දේ ඔබම සිතා ගන්න.




තවත් කාලයකදී මෙයවත් ඉතුරු වේද?


පුරාණ කොට්ටේ ගැන සොයා බැලිය හැකි තැනකට යොමුවක්:
https://www.archaeology.lk/5706

- ශ්‍රී නාත්.